Wednesday, April 12, 2017

නැකතේ අරුත ගැන පරණ අවුරුද්දීම කියවමු

පිටඅලුත් අවුරුද්දට  නැකත් අවශ්‍ය මන්ද කියා විමසීමේදී මට අපුරු ලිපියල් දිවයින පත්‍රයෙන් හමු උනා  මේක ලියල තියෙන්නෙ ආචාරිනී මල්ලිකා ගීගණආරච්චි මහත්මියයි 

සමරසේකර 



අලුත් අවුරුද්දේ නැකතේ අරුත



සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වීම හේතුකෙට ගෙන පුරාණයේ පටන් ජ්‍යෙdතිෂ්‍ය මතයට මුල් තැනක්‌ දෙමින්, නැකත් හා සිරිත් විරිත් පිළිපදිමින් කටයුතු කිරීම සිංහල අලුත් අවුරුද්ද ලෙස හඳුන්වනු ලැබේ.

සෑම වසරකම බක්‌ මස 12, 13, 14 යන දිනවලින් එකකදී මේ අවුරුදු උදාව සිදුවේ.

ගහ කොළ, මලින් පලින් බරවන ගංගා, ඇළ - දොළ උතුරා පිටාර ගලන බත බුලතින් රට සරු වන අඹ - දඹ - නාරං - පැණි වරකා සුවඳින් සිත මුසපත් කරන මේ මංගල බක්‌ මාසය සොබාදම් දිනිතියගේ බදු යෞවන මංගල සමය ලෙස හැඳින්විය හැක.

ස්‌වභාවධර්මය යනු ඉරහඳ, තාරකා සහ ග්‍රහ වස්‌තු ද, ගින්දර සහ ජලය එහි කොටස්‌කරුවන් ලෙස ද හැඳින්විය හැක. මේ වස්‌තූන් වලින් මිනිසාට සහ සතුන් හට හා අවට, ලෝකයාට, ගහ කොළට සිදුවන හොඳ හෝ නරක බලපැම් ද මෙයට එක්‌ කළ හැක. බුද්ධ දේශනාවන්ට අනුව නියාම ධර්මයන් ද, ස්‌වභාව ධර්මය මේ යෑයි අපට කියාදෙන තවත් ආදර්ශයකි. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම යන පංච නියාම ධර්ම මිනිසාගේ සහ ස්‌වභාවධර්මයාගේ වෙනස්‌වීම ලොවට පෙන්වන පොදු ධර්මතාවකි.

සෞරග්‍රහ මණ්‌ඩලයේ මිනිස්‌ ජීවිතයට බලපෑම් කරන ග්‍රහයන් නව දෙනකු ඇත. එනම් රවි, චන්ද්‍ර, බුධ, ගුරු, රාහු, කේතු, කුජ, සිකුරු, ශනි නම් වේ. මෙයට අදාළව ලග්න නවයක්‌ ද සකස්‌ වී ඇත. එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන වේ.

ජ්‍යෙdතිෂ්‍ය යනු ඉරහඳ තාරක සහ ග්‍රහ වස්‌තූන් මිනිසාට බලපෑම් කරන්නේ කෙසේ ද යන්න පෙන්නුම් කරන ශාස්‌ත්‍රයක්‌ ලෙස ද දැක්‌විය හැක. ජ්‍යෙdතිෂ්‍ය යනු තුන් වැනි ඇස නොහොත් පියවී ඇසට නොපෙනෙන දේ නුවණැත්තන් විසින් හඳුනාගනු ලබන ශාස්‌ත්‍රයක්‌ ලෙස ද පැරැන්නෝ දක්‌වති. මෙහි ඇති සත්‍යතාව නිසාම බුද්ධෝත්පත්තියට පෙර සිටම මේ ශාස්‌ත්‍රය පැවැත එන බව ද සිහියට නඟාගත යුතු කරුණකි. උදාහරණයක්‌ ලෙස සිදුහත් කුමරුගේ කේන්ද්‍රය පරීක්‌ෂා කොට දක්‌ෂ නක්‍ෂත්‍රකරුවකු වන බව අඥකොණ්‌ඩඤ්ඤ බමුණා විසින් සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුදුවන බව පවසා ඇත. එසේම නවීණ විද්‍යාවට පවා සොයාගත නොහැකි දත්ත සහ කරුණු දක්‌ෂ ජ්‍යෙdතිෂඥයන් විසින් සොයාගෙන ඇත.

කෙනකු මෙළොව එළිය දකින වෙලාවේ කිසියම් නිශ්චිත ස්‌ථානයක සිට නැගෙනහිර ක්‍ෂතිජය දෙස බැලූ විට උදාවන ලග්නය ඇතුළු ග්‍රහයන් අහසේ පිහිටා ඇති ආකාරය දැක්‌වෙන අහස්‌ සිතියම කේන්ද්‍රය නම් වේ.

මේ කේන්ද්‍රය පුද්ගලයාගෙන් පුද්ගලයාට උපන් දිශාව අනුව වෙනස්‌ වේ. එසේම ලංකාවට බලපවත්වන්නාවූ ලග්නයක්‌ ද, කේන්ද්‍රයක්‌ ද ඇත. වර්තමානයේ ලංකාවේ ලග්නය කුම්භ නම් වේ. මේ කේන්ද්‍රයට අනුව ලංකාවට උදාවන්නේ යහපත් කාලයක්‌, අයහපත් කාලයක්‌ දැයි අනාවැකි පළ කිරීමට ජ්‍යෙdතිෂවේදීන්ට පුළුවන්කම ලැබේ.

මේ නක්‍ෂත්‍රයට, ලග්නවලට අධිපති ග්‍රහයා හිරුවේ. හිරුගේ උදාව නිසා අලුත් දවසක්‌ උදාවේ. ගහට කොළට, ඇළට, දොළට ජීවය ලැබේ. ජ්‍යෙdතිෂයේ සියලුම නැකත් චාරිත්‍ර ආරම්භ වන්නේ සූර්යය නැතහොත් රවි ග්‍රහයා මුල්කොට ගෙනය. මේ සූර්ය උදාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌ වේ. එම නිසා නැකතක්‌ සෑදීමට නිවැරැදිව සූර්යයා උදාවන වේලාව සටහන් කිරීම වැදගත් වේ. සූර්යයා ග්‍රහ ලොවේ රජ නොහොත් පියා ලෙස ද හැඳින්වේ.

නැකැත් විසිහතක්‌ (27) ක්‌ ජ්‍යෙdතිෂයේ සඳහන් වෙයි. එනම් අස්‌විද, බෙරණ, රෙහෙණ, මුවසිරස, මා, කැති වැනි නැකත් ය. පුද්ගලයකුට හෝ ලංකාවට නැකතක්‌ සැලකිල්ලට ගනු ඇත. එනම් ලග්නය තිථිය, කාලය, යෝගය සහ කාරණය වේ.

ජ්‍යෙdතිෂවේදියකු නැකතක්‌ පිළියෙළ කරන්නේ මෛත්‍රී සහගත සිතිනි. පරම මෛත්‍රී නැකතකින් පුද්ගලයාගේ පෙර පින සහ කුසලය මතු කළ හැකිය. සිංහල අවුරුද්දට බලපාන ලංකා කේන්ද්‍රයට අනුව නැකතක්‌ පිළියෙළ කරන්නේ මුළු විශ්වයටම යහපතක්‌ වන වේලාවන් ගලපා ගෙනය. විෂ්ණු දෙවියන්ට නමස්‌කාර කොට සරස්‌වතියට පුද පූජා කරමින් වත් - පිළිවෙත් අනුගමනය කරමින් ඉතා පිරිසිදුවට පැහැදිලිවට මේ නැකත සාදනු ලැබේ. සුබ දිශාව, සුබ වර්ණය සහ සුබ වෙලාව, කිරිබත පිළියෙළ කරනා ආකාරය සඳහන් කරන්නේ සකල ලෝකවාසීන්ටම මේ නැකත පොදු වන නිසාය. මේ කරුණු වලින් අපට පැහැදිලි වන්නේ ජ්‍යෙdතිෂ්‍ය යනු සකල ලෝක වාසීන්ගේ සුබ සිද්ධිය සඳහා කටයුතු කරන උත්තම ගනයේ ශාස්‌ත්‍රයක්‌ වන බවය.

පුරා දින තුන්සිය හැට පහක්‌ මුළුල්ලේ තම රාශි චක්‍රය වටා ගමන් කොට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිශ්ඨ වීමේ අතරමැදි කාලය "නොනගතය" හෙවත් නැකත් නැති කාලය ලෙස හැඳින්වේ. මෙය ඉතා වැදගත් ම අවස්‌ථාවකි. මේ කාලය තුළ අප දෛනිකව සිදුකරනු ලබන සියලු වැඩකටයුතු නවතා පුණ්‍ය කටයුතුවල පමණක්‌ නිරතවිය යුතු බව සඳහන් වේ. එහෙත් අපේ සිංහල බෞද්ධ ජනයා පැයක පමණ වන මේ කාලය ගැන සැලකිල්ලක්‌ නොදක්‌වා කෑම - බීම, උයන - පිහන වැඩකටයුතුවල නිරත වේ. බොහෝ දෙනා මේ වෙලාවේ නිරාහාරව සිටින්නේ නැත. මේවා නැකත් චාරිත්‍රවලට පටහැනිය. ඉස්‌ලාම් භක්‌තිකයන් දින තිහක්‌ පුරා උදේ සිට සවස දක්‌වා උපවාසයේ යෙදෙන අයුරු අපි සිහියට නඟාගත යුතුය. අලුත් අවුරුද්දක්‌ උදාවන්නේ මේ නොනගත කාලය හරි ආකාරව පිළිපදින අයට පමණි. නැවුම් බවක්‌, අලුත් බවක්‌ ජීවිතයට එකතු කර ගන්නට නම් නොනගත කාලය නිවැරැදි අයුරින් ගත කළ යුතුම වන්නේය.

අලුත් අවුරුදු උදාවේ චාරිත්‍ර - වාරිත්‍ර සඳහන් කොට අවුරුදු ලිතක්‌ සකස්‌ කරනු ඇත. එහි අවුරුදු උදාව, ළිප ගිනි මෙලවිය යුතු නැකත, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, නව සඳ බැලීම, නෑගමන් යැම, හිසතෙල් ගෑම යනාදී කරුණු සඳහන් කොට ඇත. මේ නැකත් අතර විශේෂ වන්නේ ළිප ගිනි මෙලවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම යන නැකත් තුනයි. ඒවා නියම අයුරින්ම සිදුකරන්නේ නම් එයින් ලැබෙන ප්‍රතිඵල ඉතා විශිෂ්ටය. මෙහිදී සිදුවන වැදගත්ම දෙයක්‌ නම් එකම මොහොතක, එකම දිශාවක්‌ බලා නියමිත වර්ණයන්ගෙන් සැරසී චාරිත්‍ර සියලු දෙනාම සිදුකරන විට විශ්වයේ මහා බලයක්‌ ගොඩනැඟේ. හිස තෙල් ගෑමේ නැකත හරියට පිළිපැදීමෙන් මුළු අවුරුද්ද පුරාම අඩුම තරමේ හිසරදයක්‌ හෝ නොහැදෙන බවට අද්දැකීම් රාශියක්‌ ම මා සතුය. ළිඳ සමඟ කරන ගනුදෙනුව ද වැදගත් වන්නේ ජලය අපට අත්‍යවශ්‍ය වන හා පොළවෙන් අපට ලැබෙන මහඟු සම්පතක්‌ වන බැවිනි. ගනුදෙනු කිරීමේ සහ නෑගම් යැමේ චාරිත්‍ර හා නියමිත දිනට රැකියාවට යැම යන චාරිත්‍ර හරියට ඉටුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. නව සඳ බැලීම ද ජීවිතයට වාසනාවක්‌ එකතුකරන නැකතයි.

මේ අවුරුදු සිරිත් - විරිත් පිළිපැදීම නිසා බාහිරව අපි දකින දේට වඩා මිනිසා තුළ අධ්‍යාත්මික ගුණ වගාවන් ඇතිවීම ඉතා වැදගත් වේ. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වෙනුවට සතුට, සහජීවනය, සැනසීම සහ සංහිඳියාව අපට ලැබේ. දෙමාපියන්, දූ දරුවන්, අසල්වාසීන්, නෑ හිතවතුන්, ස්‌වාමි - සේවක අය සමඟ වසර පුරා යම් අමනාපකම් සිදුවුණි ද, යුතුකම් හා වගකීම් මඟ හැරුනේ ද, එසේ වී නම් ඒවාට පිළියම් යෙදීමට අපට අවස්‌ථාවක්‌ උදාවන්නේ මේ සිංහල අලුත් අවුරුදු නිසාය.

අතිශයින් කාර්ය බහුල වූ එකිනෙකා පරයා හැල්මේ දුවන හති වැටුණු ජීවිතවලට මඳක්‌ හෝ සැනසීම ලැබෙන්නේ මේ සිංහල අවුරුදු චාරිත්‍ර - වාරිත්‍ර නිසාය.

දෙමාපියන්, දූ දරුවන්, නෑ හිතමිතුරන් එකට එකතු වී සබැඳියාවෙන් සහ සහජීවනයෙන් එකතුව කටයුතු කරන්නේ මේ අලුත් අවුරුදු චාරිත්‍ර නිසාය.

මෙලෙසින් බලන කල ජ්‍යෙdතිෂවේදීන් තම දැනුම් සම්භාරය සකල ලෝකවාසීන්ට යහපතක්‌ වන අයුරින්, සෞඛ්‍යට හිතකර වන අයුරින් සකස්‌ කරන මේ සිංහල අවුරුදු නැකත් හා චාරිත්‍ර පිළිපැදීම කෙතරම් වැඩදායීද යන්න ඔබට වැටහෙනු ඇත. යමෙක්‌ මේ නැකත් සිරිත් පිළිපදින්නේ නැද්ද, ඔහුගේ ජීවිතයේ අලුත් බවක්‌ උදාවන්නේ නැත. එමනිසා සියලුම සිංහල බෞද්ධ ජනතාව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර මේ වසරේවත් හරියාකාරව ඉටුකර ජීවිතයේ සාර්ථකත්වය සහ වාසනාව උදාකර ගන්න.

ඔබ සැමට සුබ නව වසරක්‌ වේවා!

ආචාරිනී මල්ලිකා ගීගණආරච්චි
(ආනන්ද විද්‍යාලය කොළඹ - 10)



No comments: