Monday, April 17, 2017

රට මේ ගෙන යන්නේ කුමන දිශාවකටද


රටක පුරවැසියන් තමන් විසින් පත් කර ගන්නා පාලකයන් විසින් ඒ රට ගෙනයන දිශාව ගැන අවධානයෙන් සිටිය යුතුය. එසේ නොමැතිව ඒ රටේ  බෝඩින් කාරයන් වශයෙන් කටයුතු  කිරීම නිසාම අත්වූ ශෝචනීය එක් ප්‍රතිඵලයක් නාය ගිය කුණු කන්ද තුලින් දැක්කෙමු . මේ  ඊයේ පලවූ දිවයින පත්‍රයෙන්  කිර්ති වර්ණකුලසුරිය මහතා විසින්  හෙළිදරව් කර ඇති තවත් එක් කුනු කන්දකි. මෙයත් අප හිස මතට කඩා වැටෙන තෙක් අප තවමත් මෙරටේ බෝඩින් කාරයන් වශයෙන් සිටිය යුතුද? නැත්නම් පුරවැසියන් වශයෙන් අපේ යුතුකම සහ වගකීම ගැන  නැවත සිතා බැලිය යුතුද?

සමරසේකර  





කැනඩාවේ "ප්‍රභාකරන්" යාපනයට පැමිණෙයි 


මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට
සම අනුග්‍රහකත්වය දැක්‌වීමෙන් ශ්‍රී ලංකාව අපිව මවිතයට පත් කළා.
- ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්‌ස්‌ ටිලර්සන්

ලෝක ඉතිහාසයේ කිසිම රටක්‌ තම හමුදාව යුද අපරාධ කළ බව පිළිගනිමින් ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වීමට එකඟ වී නැත. එහෙත් මුල්වරට ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කීපයක්‌ ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සම අනුග්‍රහය ලබාදී යුද අපරාධ චෝදනා විමර්ශනයට එකඟ වූයේය. ඒ සඳහා වසර දෙකක කාලයක්‌ ද ලබාගත්තේය. එහෙත් කොටි පරාජයවීම නිසා නිදහසේ මාර්ගවල යන ජනතාව ජිනීවාහිදී එකඟ වූ යෝජනාවේ භයානක කම දුටුවේ නැත. මන්දයත් ජිනීවාහිදී අපි ජයලැබුවා යෑයි රජයේ දේශපාලකයන් ජනතාව හමුවේ පැවසීමයි. එසේ වුවත් සැබෑ යථාර්ථය කුමක්‌ද? ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඡන්ද විමසිමකින් තොරව සම්මත වූ යෝජනාව සංහිඳියාව ගැන නොව යුද අපරාධ චෝදනා එල්ල වන හමුදා නිලධාරීන්ට නඩු පැවරීමයි.

ශ්‍රී ලංකාවේ කොටි භීෂණය නැති කළ හමුදා නිලධාරීන්ට එරෙහි මෙම ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සාමාජික රටවල්වලින් ඩොලර් 362000 ක (රුපියල් පන්කෝටි පනස්‌හත් ලක්‍ෂ හතලිස්‌ අට දහසක්‌) ඉල්ලා සිටියි. ඉන් කොටසක්‌ ශ්‍රී ලංකාවද දැරිය යුතුයි.

රජය ජිනීවාහිදී එකඟ වූයේ කොතරම් අපූරු යෝජනාවකටදැයි දැන්වත් ජනතාවට තෙරුම් යනු ඇත.

ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට ශ්‍රී ලංකාවද එකඟවන අවස්‌ථාවේ ඊට සමගාමීව ඊශ්‍රායලයට එරෙහිවද යෝජනා පහක්‌ සම්මත විය.

ඉන් එක්‌ යෝජනාවක්‌ වූයේ ඊශ්‍රායලය යුද අපරාධ කළ බවයි. එහෙත් බ්‍රිතාන්‍ය තානාපතිවරයා එම යෝජනාවලට එරෙහි වෙමින් මානව හිමිකම් කවුන්සිලය මින්පසු ඊශ්‍රායලය පිළිබඳව අනුගමනය කරන පිළිවෙත වෙනස්‌ නොකළහොත් යෝජනාවලට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බව කියා සිටියේය.

ඇමරිකානු තානාපතිවරයා ඊශ්‍රායලයට එරෙහි යෝජනාවට විරෝධය පළ කරමින් මානව හිමිකම් කවුන්සිලය එක්‌ රටක්‌ කෙරේ සමතුළිත භාවයක්‌ නැතිව ක්‍රියා කරන බව පවසා එම යෝජනාවට විරුද්ධව ජන්දය භාවිතා කළේය.

එහෙත් ශ්‍රී ලංකාව තමන්ට එරෙහි යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වීම නිසා ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී රටවල්වලට ඊට එරෙහිවීමට නොහැකි විය.

ජිනීවාහිදී සම්මත වූ 30/1 සහ 34/1 යෝජනා දෙකින්ම කියා සිටින්නේ එකම ක්‍රියාදාමයයි.

ඒ ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව නඩු පැවරිය යුතු බවයි. මේ යෝජනා දෙකින්ම ආරක්‍ෂක හමුදාව සෘජුව ඉලක්‌ක කර ඇත. එය තවදුරටත් පැහැදිලි වන්නේ 2015 ඔක්‌තෝබර් 1 දා සම්මත වු ජිනීවා යෝජනාව 2017 දී කිසිදු සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කිරීමට රජය එකඟ වීමයි.

රජය එක්‌පසකින් තම හමුදාව සිදු කළ බව කියන යුද අපරාධ ගැන විමර්ශනය කිරීමට එකඟවෙද්දී උතුරේ සිට ජිනීවා ගිය කොටින්ට සම්බන්ධ ජින්බැන්ඩ් කල්ලිය වසර 21 කට පෙර සිදු වු කුමාරපුරම් ඝාතනය ජාත්‍යන්තර කරණය කරනු ලැබීය. ඊට යාපනයේදී මෑතකදී පිහිටුවාගත් අඩයාලම් මධ්‍යස්‌ථානය නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ පර්යේෂිකාවක්‌ යෑයි හඳුන්වා ගත් දර්ෂා ජෙගතීස්‌වරුන් මන්නාරම පුරවැසි කමිටුවේ ප්‍රධානී ඒමානුවෙල් සබමාලෙයි පියනම ලන්ඩන්නුවර සිට ක්‍රියාත්මක වන ටැමිල් ගාඩියන් පුවත්පතේ කර්තෘ අබිනායා නාදන් නැමැත්තියද සම්බන්ධ විය.

මින් දර්ෂා ජෙගතීස්‌වරන් නැමැත්තිය ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන පර්ල් නැමැති කොටි හිතවාදී සංවිධානයේ අධ්‍යක්‍ෂකවරියකි. ඇයට අමතරව අඩයාලම් මධ්‍යස්‌ථානයේ පර්යේෂිකාවක්‌ වූ නිරන්ජලා අරුලානන්දි ද ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට ක්‍රියා කරනු ලැබීය. ඔවුන් නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණයට ජාත්‍යන්තර විනිසුරන්, විමර්ශකයන් සහ අභිචෝදකයන් අවශ්‍ය බව කියා සිටියහ.

මේ යාපනයේ කල්ලිය ජිනීවා ගිය මුල්වතාව මෙයයි. එහෙත් වසර 21 කට පෙර සිsදු වු කුමාරපුරම් ඝාතනය සියෑසින් දුටුවාක්‌ මෙන් ඔවුන් 1956 සිට 2008 දක්‌වා කාලය තුළ ස්‌ථාන 88 කදී ද්‍රවිඩයන් සමූලඝාතනය වී ඇති බවට තම වාර්තාවේ දක්‌වා තිබුණි.

ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයට පත් වූ මෙම වාර්තාව ඉන්පසු යාපනය විශ්වවිද්‍යාලයට ගෙනවුත් එහිදීද ප්‍රකාශයට පත්විය. යාපනය විශ්වවිද්‍යාලයේ පැවැති සාකච්ඡාවට ඇමරිකාවේ සිට පැමිණි ඊළම්වාදිනියක්‌ වූ නිම්මි ගෞවරිනාදන් පර්ල් සංවිධානයේ මාරියෝ අරුල්තාස්‌ මාධ්‍යවේදියකු බව කියන ෂාන් උදය රාසා සහ යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ ප්‍රධානී කුමාරවේල් ගුරුපරන් නැමැත්තාද සම්බන්ධ විය. එහෙත් රජයේ යාන්ත්‍රණය යාපනය විශ්වවිද්‍යාලය තුළත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත නොව තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන සතුරු බලවේග හඳුනාගෙන නැත.

මේ කිසිවෙක්‌ කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන හඬ නගා නැත. මෙහිදී මාරියෝ අරුල්නාත් නැමැත්තා මියගිය කොටි මිනීමරුවන් විශාල ලෙස සැමරීමට ඉඩදිය යුතු බව පවසා ඇත. ඔහු යාපනයේ විශ්වවිද්‍යාලයේ දී සෘජුව පවසා ඇත්තේ මහාවීර් නාල් හෙවත් මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදීම ජිනීවා යෝජනාවේ දැක්‌වෙන වගවීමේ ක්‍රියාවලියේ එක්‌ අංගයක්‌ විය යුතු බවයි.

මෙලෙස කොටි හිතවාදීහු කොටි මිනීමරුවන්ව සැමරීම සඳහා දැඩි උත්සාහයක යෙදෙන අවස්‌ථාවේ රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා ගොස්‌ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සත්‍ය දැයි විමර්ශනය කරනු පිණිස එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයෙක්‌ පත් කරන ලෙස ඉල්ලා ඇති බවත් එම ඉල්ලීම මානව හිමිකම් කවුන්සිලය පිළිගන්නේ නම් ශ්‍රී ලංකාව ගැන සෙවීමට විශේෂ නියෝජිතයෙක්‌ පත්වී ඔහු ශ්‍රී ලංකාවට පැමිණ කරුණු එක්‌ රැස්‌ කර සාක්‍ෂි මතත පදනම් වූ වාර්තාවක්‌ සකස්‌ කිරීමටත් හැකියාවක්‌ ලැබෙන බවටත් ජනාධිපති කාර්යාලයට රිංගාගෙන සිටින අඥානයෙක්‌ ප්‍රචාරයක්‌ දියත් කර තිබේ. එහෙත් එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වූ ජුවන් මෙන්ඩස්‌ට රජය කල්තියා දොර විවෘත කළේය. රහස්‌ පොලිසිය බූස්‌ස කඳවුර ත්‍රස්‌ත මර්දන ඒකකය වැලිකඩ බන්ධනාගාරය ත්‍රිකුණාමල නාවික කඳවුර, වව්නියා හමුදා මූලස්‌ථානය සහ වෙනත් හමුදා සහ පොලිස්‌ ස්‌ථාන රැසකට යැමට ජුවන් මෙන්ඩස්‌ට හැකිවිය. ඔහු මෙරටට පැමිණියේ විදේශ වෝහාරික විශේෂඥයකු සමඟය.

උතුරු නැගෙනහිරටද ගිය මෙන්ඩස්‌ වින්දිතයන්ගෙන් සාක්‍ෂි ලබා ගත්තේය. වැලිකඩ කොටි රැදවුම් කඳවුරට ගිය මෙන්ඩස්‌ එහි සිටින කොටින්ට වධහිංසා සිදු වුයේද යන්න ගැන විමර්ශනය කළේය. කොටි රැඳවියෝ යුද්ධ සමයේ සටන්වලදී සිදු වු තුවාල කැළල් පොලිසිය සහ හමුදාව සිදු කළ වධහිංසා ලෙසට පෙන්නුම් කළහ. අවසානයේදී ජිනීවා ගිය මෙන්ඩස්‌ බොරු සාක්‍ෂි පදනම් කරගෙන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය. එහෙත් රියර් අද්මිරාල් සරත් වීරසේකරට චෝදනා කරන මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරියා ජුවන් මෙන්ඩස්‌ගේ වාර්තාව ගැන නොදනී. මෙවන් පසුබිමක්‌ මැද ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයේ මහලේකම් ෂලිල් ෂෙට්‌ටි නැමැත්තා මෙරටට පැමිණ උතුරට ගොස්‌ ද්‍රවිඩ වැසියන් හමු වී සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය.

ඉන්පසු ඔහු කොළඹ පිහිටි නෝර්වේ අරමුදල් ලබන මාධ්‍ය කොම්පැනියක මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතමින් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව කියා සිටියේය. එසේම කොටි මහාවිරු දිනය සැමරීමටද කොටි සුසානභූමි යළි ස්‌ථාපිත කිරීම සඳහා ඉඩදිය යුතු බවට නිර්දේශ කර ඇති සංහිදියා බළකා වාර්තාවද පිළිගනිමින් එම වාර්තාවද අනුමත කළේය.

ෂලිල් ෂෙට්‌ටි ඉන් නැවතුනේ නැත. ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය හෙවත් ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ කාර්යාලයක්‌ කොළඹ ස්‌ථාපිත කිරීමට ද ක්‍රියා කරන බව ඔහු පළ කළේය. එහෙත් ඉන්දියාවේ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීමට ඔහු ඉදිරිපත් වී නැත.

ෂෙට්‌ටි නැමැති මෙම ඉන්දියානුවා 2012 දෙසැම්බර් මස ද ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක්‌ කරමින් වන්නි මෙහෙයුම අවසානයේ සිදු වු බව කියන ඝාතන ගැන විමර්ශනය කිරීමට පූර්ණ ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවත් වරදකරුවන්ට දඬුවම් කළ යුතු බවත් පවසා තිබුණි.

ෂලිල් ෂෙටිගේ පියා ඩාලිට්‌ (අඩුකුලයේ) අයකු නොවූවත් ඔහු ඩාලිට්‌ ජනතාවගේ නායකයා ලෙස පෙනී සිටියේය.

රාජ්‍ය නොවන සංවිධාන කීපයක සේවය කළ ෂලිල් අවසානයේ ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂල් සංවිධානයේ මහලේකම් විය.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව හයිබ්‍රිඩ් අධිකරණයක්‌ යෝජනා කරන ඔහු ඉන්දු කාශ්මීරයේදී ඉන්දීය සෙබළුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ අවශ්‍ය බව පවසා නැත. මේ අතර කැනඩාවේ ටොරොන්ටෝ නගරාධිපති ජෝන් ටෝරි, නගර සභිකයන් වූ මිචෙල් තොම්සන් හා නගර සභාවට මුලින්ම පත් වූ ද්‍රවිඩයා වු නේතන් ශාන් කැටුව මෙරටට පැමිණ යාපනයට ගියේය. නේතන් ශාන් යනු නේතන් ශන්මුගරාජායි කොටි සංවිධානය ක්‍රියාත්මක වන සමයේ කැනඩාවේ සැඟවුණු කොටි නායකයා ලෙස හඳුන්වනු ලැබු නේතන් ශාන් ද්‍රවිඩ තරුණ සංවිධානය පිහිටුවීමට ක්‍රියා කළේය. එහි ජාතික කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂක ලෙස ක්‍රියා කළ නේතන් ශාන් කැනඩාවේ දේශපාලන ජාලයට ඇතුල්විය කැනඩාවේ ද්‍රවිඩ සිසුන් ඉගෙන ගන්නා පාසල්වල කොටි ධජය එසවිය යුතු බවට උපදෙස්‌ දුන් ඔහු කොටි සංවිධානයේ අරමුදල්වලින් ටැමිල් විෂන් ඉන්ටර්නැෂනල් සහ සී. එම්. ආර්. නැමැති මාධ්‍ය ආයතන දෙක ස්‌ථාපිත කළේය. 2009 වසරේ මැයි මස මුල සතියේ මොන්ටි්‍රයල් නගරයේ පැවැති කොටි රැලියක්‌ අමතා දේශනයක්‌ පැවැත්වූ නේතන් ශාන් කොටි සංවිධානය සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්‌ බව කියා සිටියේය.

කැනඩාවේ ද්‍රවිඩයන් විසින් කැනඩා ප්‍රභාකරන් යෑයි හඳුන්වනු ලැබු මේ කොටි හිතවාදියාට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වත්මන් රජය අවසර දුන්නේය.

එහෙත් යාපනයේ බුද්ධි අංශ මොහුව හැඳිනත්තේ නැත. නේතන් ශාන්ව යාපනයට ගෙන ආ කැනඩා නගරාධිපති වසර 10 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට යැමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඇත.

වන්නි මෙහෙයුම දියත් වන සමයේ නේතන් ශාන් මෙලෙස ප්‍රකාශ කර තිබුණි.

ක්‍රිකට්‌ තරගයක්‌ හෝ පාපන්දු තරගයක්‌ නරඹන ආකාරයට මේ යුද්ධය දෙස බලා සිටීමට නොහැක. අපි කොටි සමඟ එක්‌ව සටන් කර අහිමි වී ගිය ඉඩම් ආපසු ලබා ගත යුතුයි. කොටි අරගලයේ කොටසක්‌ ලෙස අපි කටයුතු කළ යුතුයි. අපේ ඡන්ද දැමිය යුත්තේ ද්‍රවිඩ ඊළම මහජන පිරිසට පමණයි. කොටි අරගලය දැන් වඩාත් ශක්‌තිමත් වී ඇත. කැනඩාවේ උපන් අපේ දරුවෝ මේ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි."

කැනඩා රජය විසින් ලෝක ද්‍රවිඩ සංවිධානය තහනම් කළ අවස්‌ථාවේ මොහු ඊට එරෙහිව අභියෝග කළේය. 2008 නොවැම්බර් 27 දා කැනඩා පොලිසිය කොටින්ගේ මහවිරු දින උත්සවය පැවැත් වූ ශාලාවට ඇතුළු වූ අවස්‌ථාවේ වේදිකාවේ සිටියේ පොන් විමගනාදන් සහ නේතන් ශාන් නැමැති කොටි හිතවාදීන් දෙදෙනායි ඒ වනවිට ඔවුන් දෙදෙනාම පසුපස දොරින් පැන ගොස්‌ තිබුණි.

2009 මැයි මස කොටි සංවිධානය පරාජය වීම නිසා නෝර්වේ සිට ක්‍රියාත්මක වූ තෙදියවන් නැමැති කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයා කැනඩා ද්‍රවිඩයන්ගේ ජාතික කවුන්සිලය නමින් කැනඩා කොටි ශාඛාව ස්‌ථාපිත කරනු ලැබීය. 2010 දී ආරම්භ වු එම සංවිධානයේ නියෝජ්‍ය සභාපති ලෙස පත් කර ඇත්තේ නේතන් ශාන්ය.

ප්‍රභාකරන් මරුමුවට පත්වීමට පෙර නේතන් ශාන් කැනඩා රජයෙන් ඉල්ලීමක්‌ කරමින් ප්‍රභාකරන්ට ගෞරවනීය පුරවැසි බව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ වන විට ප්‍රභාකරන් පරාජය වී නොතිබුණි. 2009 මාර්තු මස දිනක මේ කොටි හිතවාදියා ප්‍රකාශයක්‌ කරමින් ප්‍රභාකරන්ට උත්තරීතර හමුදා බලයක්‌ ඇති බවත් අප ඔවුන්ට හමුදාමය ලෙස සහය දැක්‌විය යුතු බවද ප්‍රකාශ කරනු ලැබිණි. 2012 දී ඔහු කැනඩාවේ එන්. ඩී. පී. පක්‍ෂයට සම්බන්ධ වී ටොරොන්ටෝ නගර සභාවට තරග කර ජය ගත්තේය. මෙලෙස කොටි හඬ නැගූ නේතන් ශාන්ට මෙරටට පැමිණීමට ශ්‍රී ලංකා රජය දොර විවෘත කළේය.

නේතන් ශාන් සමඟ උතුරට ගිය කැනඩා නගරාධිපති ජෝන් ටෝරී අප්‍රේල් 4 දා කැනඩාවේ මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකාවේ හමුදාව විවේචනයට ලක්‌ කළේය.

ජෝන් ටෝරී මෙලෙස ප්‍රකාශ කර ඇත. "උතුරේ සෑම ද්‍රවිඩයන් තිදෙනකුටම එක්‌ සෙබළකු බැගින් සිටිනවා. සැතපුම් කීපයක්‌ යන විට හමුදා කදවුරක්‌ දැක ගැනීමට හැකි වුණා. ඔබ උතුරේ ජනතාවගෙන් මේ හමුදා කඳවුරු ගැන ඇසූවොත් බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩම්වල එම කඳවුරු පිහිටා ඇති බවට ප්‍රකාශ කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේදී (කොටි ත්‍රස්‌තවාදීන්) මියගිය ද්‍රවිඩයන් වෙනුවෙන් උතුරේ ස්‌මාරකයක්‌ හෝ සිහිවටනයක්‌ නැත. එහෙත් ද්‍රවිඩ ජනතාව මුල්ලි වයික්‌කාල්හි තාවකාලික ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කර තිබෙනවා. යුද්ධයේ අවසාන අදියරේදී 40000 ක්‌ මියගිය බව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවා. මේ නිසා පහනක්‌ දල්වා මල්කලඹක්‌ තැබීමට මම ක්‍රියා කළා.

අතුරුදහන් වූ දරුවන්ගේ මව්වරුන්ගේත් පියවරුන්ගේත් ඇස්‌වල තිබූ වේදනාව මා දුටුවා. උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් කියා සිටියා. ජාත්‍යන්තර මැදිහත්වීමකින් යුත් විමර්ශනයක්‌ අවශ්‍ය බව, එය සාධාරණ ඉල්ලීමකි. උතුරේ හමුදාව අඩුකර අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත බාරදිය යුතුයි. එසේම ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සහිත වගවීමේ යාන්ත්‍රණයක්‌ ආරම්භ කිරීමට රජය ක්‍රියා කළ යුතුයි.

කැනඩාවේ ටොරොන්ටොda නගරාධිපතිවරයාට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට කිසිදු සදාචාරමය හිමිකමක්‌ නැත. එහෙත් රජය කොටි හිතවාදීන්ට මෙරටට ඒමට ඉඩදී ඉල්ලන් කන තත්ත්වයට පත් විය.

උතුරේ ද්‍රවිඩයන් අතුරුදන් වීම ගැන හඬ නගන ජෝන් ටෝරී කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් 6000 කට අධික පිරිසක්‌ අතුරුදන් වීම ගැන හඩ නැගුවේ නැත.

No comments: