Friday, April 21, 2017

කලවම් සන්නියට සින්නවෙන සිංහලයාගේ උරුමය...

තුගම සෙනෙවිරුවන් මහතා දකින කලවම් සන්නියට සින්නවෙන
සිංහලයාගේ උරුමය... මා ගත්තේ දිවයින පත්‍රයෙනි. මේ ගැනත් සලකා බැලීම  සුදුසුයි නේද 
සමරසේකර 



කලවම් සන්නියට සින්නවෙන
සිංහලයාගේ උරුමය...

මතුගම සෙනෙවිරුවන්

දිගු සංස්‌කෘතික ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජනතාවට තමන්ටම අනන්‍ය වූ අලුත් අවුරුද්දක්‌ ඇත. එය ආරම්භ වන්නේ බක්‌ මාසයෙනි. අමාන්ත ක්‍රමයට නොහොත් අමාවකින් ඇරැඹෙන චන්ද්‍ර මාසයේ තිථිය අනුව කාලය ගණනය කිරීමක්‌ අතීතයේ විය. සූර්යයාගේ ගමන් චක්‍රය අනුවද විශ්වය වටා කරකැවෙන විට උදාවන උත්තරායන සමයේ මේ කාලය එළඹේ. ජනවාරි 15 සිට ජූලි 15 දක්‌වා කාලය උත්තරායනයයි. ජූලි 16 සිට ජනවාරි 14 දක්‌වා කාලය දක්‌ෂිණායනය වේ. උත්තරායන සමයේ මාර්තු මස විසි එක්‌ වැනිදා වන විට ලංකාවට සාපේක්‌ෂව හිරු මුදුන් වීමට පටන් ගනී. අප්‍රියෙල් මස පස්‌වැනිදා පමණ වන විට හිරු ලංකාවට සාපේක්‌ෂව දෙවුන්දර තුඩුව අසලින් උදා වේ. සූර්ය දොරටුව යන අර්ථයෙන් එය දෙවුන්දොර වන්නා සේ සූර්යයා ලංකාව හැරයන ලක්‌ෂ්‍යය පැදුම් දොර අර්ථයෙන් පේදුරුතුඩුව (පෑ දොර) වේ. සූර්යයා ලංකාවට මුදුන් වන තවත් අවස්‌ථාවක්‌ ඇත. ඒ වර්තමාන සම්මතයෙන් අගෝස්‌තු මාසයයි. අගෝස්‌තු මාසය අවුරුදු සැමරීමට නොගෙන බක්‌ මාසය ගත්තේ ඇයි ද යන පැණයත් සමඟ අපට පිළිතුරක්‌ ලැබේ. අවුරුද්දේ සෞභාග්‍යමත් කාලය බක්‌ මාසයයි. සූර්යයාගේ වර්ණ සංකලනයෙන් ගස කොළට ලබා දෙන ශක්‌තිය ඔප් නැංවෙන්නේ බක්‌ මාසයේදීය. ගස්‌ වල කිරි පුපුරා ගෙඩි හටගැනීම ඒ කාලයේදී සිදු වේ.

සූර්යයා වන්දනා කළ රටවල් සාමාන්‍යයෙන් විස්‌සක්‌ පමණ ලොව පුරා හමු වේ. ජපානය, දකුණු අමරිකා ඇස්‌ටෙක්‌වරු ග්‍රීකයන්, රෝමන්වරුන් මෙන්ම පැරණි හෙළයන්ද සූර්යයා වන්දනා කළ බවට සාක්‌ෂි හමු වේ. පැරණි ඇසිරියන්වරුද හිරු වන්දනාව කළහ. ඇසිරියන්වරුන්ගේ මෙසපොතේමියාවේ ඌර් නගරය වසර හයදහසක්‌ පමණ පැරණිය. මේ නගරය පාලනය කළ අක්‌කාඩ් රාජ වංශය අසුරයන්ය. අසූර් යන පදයෙන් ඌර් බිඳී ඇතැයි සිතිය හැකිය. අක්‌කාඩ්වරුන් පසුකාලයේදී ලංකාවටද පැමිණ පදිංචි වී ඇත. (අක්‌කඩි වික්‌කඩි වීර රඹුක්‌කොඩි) හින්දි බසේ සූර්යයාට කියන නම් එකසිය අටක්‌ පමණ හමුවේ. අසුර්යා ඉන් එක්‌ නමකි. උර්ජස්‌වාල යයි තවත් නමකි. පැරණි දඹදිවද සූර්ය වන්දනාවේ යෙදී ඇත. අව්ර් හෝ අව්ව යන පද සිංහලයට පැමිණ තිබෙන්නේ පැරණි හෙළ දවස තිබූ සංස්‌කෘතික සම්මිශ්‍රණයෙනි. ලංකාවේ ජීවත් වූ යක්‌ෂ සහ රාක්‌ෂස යන ජන කොටස්‌ මෙකී අසුරයන්ට අයත්ය. යක්‌ෂ භාෂාවේ කෞෂදී දිනිත්‍රි මෝපාර් යෝදික අව්රාග්‍රත මිනිත්‍ර උපේන්ද්‍ර ගෞකූර් සහ ශුද්‍රdම් යනුවෙන් සූර්යයාට කියන නම් අටක්‌ පමණ ඇත. මෙම නම් අතරින් අව්රාග්‍රත යන නාමයෙන් අව්ර් යන්න බිඳී ඇත්දැයි සෙවිය යුතුය. අව්රාග්‍රත යනු සොබාදහමට ජීවය දෙන අවස්‌ථාවයි. සූර්ය ශක්‌තීන් විසි දෙකක්‌ පමණ ඇතැයි ඔවුහු විශ්වාස කළහ. සූර්යයා මහ පොළවට මුදුන් වීම අනුව දෛනිකව කළ සූර්ය වන්දනා පූජා විධි දහයක්‌ පමණ හඳුනාගත හැකිය.

එකල ලොව පුරා පැතිර සිටි අසුරයන්ගේ සූර්ය වන්දනාව පැරණි හෙළයන් ද අනුගමනය කළ බව පෙනේ. එහෙත් ඒ සිරිත ලංකාවේ දක්‌නට ලැබෙන්නේ විශේෂයෙන්ම බක්‌ මාසය තුළදීය. සියලුම බීජ සහ ගහ කොළවල ජීවය පවතින්නේ සූර්ය ශක්‌තිය තුළය. එම ශක්‌තිය උපරිම වශයෙන් ලබාදෙන අවස්‌ථාව බක්‌ මාසයේ යෙදෙන බව අපගේ පැරණියන් දැන සිටියහ. බක්‌ මාසයේ තිබූ නැකැත් කෙළියක්‌ ගැන කියෑවේ. එසේම නව සඳ බැලීමක්‌ ගැන සීගිරි ගීවල දැක්‌වේ. සූර්ය වන්දනාව නොහොත් තපස්‌ වරයත් මේ නැකැත් කෙළියත් පදනම් කොට විවිධාකාරයෙන් සොබා දහම සතුටු කිරීමට මේ අවස්‌ථාව යොදාගත් බව පෙනේ. අස්‌වනු කපා පාගාගෙන අවසන් වන මැදින් මාසය මහ දින් (ධාන්‍ය) කාලය ලෙසට රැගෙන එය කෘෂිකාර්මික පැවැත්මේ වර්ෂයක්‌ නොහොත් වරුවක අවසානය ලෙසට ද සලකන්නට උත්සාහ කොට ඇතැයි සිතිය හැකිය. අව්ර්+සෘතු යනු සූර්ය ශක්‌තිය උපරිමව ලැබෙන කාලයයි. අවුරුද්ද යන නාමය බිහි වීමට අව්රුතු යන මූල පදය හේතු වන්නට ඇත..

වර්තමානය වන විට මෙම අවුරුදු උත්සවයට සිංහල හා හින්දු හෝ සිංහල හා දෙමළ යන ව්‍යවහාරයන් එක්‌ කර තිබේ. බ්‍රිතාන්‍යයන් 1885 නිවාඩු දින පනත මගින් අප්‍රියෙල් 11, අප්‍රියෙල් 28, සැප් 17 සහ දෙසැ. 25 නිවාඩු දිනයන් ලෙසට ප්‍රකාශයට පත් කළහ. එය සිදුවූයේ සිංහල බෞද්ධයන් සැනසීම සඳහා වෙසක්‌ නිවාඩුව ඇති කළ පසුවයි. නමුත් මෙයින් සිත් අමාරුවට පත් පොන්නම්බලම් රාමනාදන් මහතා හින්දූන්ට ද නිවාඩු දිනයක්‌ අවශ්‍ය බව ව්‍යවස්‌ථාදායක සභාවේ දී කියා සිටියේය. නිරන්තරයෙන්ම ලංකාවේ සුළු ජන වර්ග සැනසීම සඳහා ක්‍රියා කළ ඉංග්‍රීසි ආණ්‌ඩුව නැවතත් 1885 දෙසැම්බර් මස නව නිවාඩු දින පනතක්‌ ඉදිරිපත් කරන ලදී. එහිදී නිල නොලත් මන්ත්‍රීa ලිච්මන් යෝජනා කර සිටියේ අප්‍රියෙල් 28 බෞද්ධයන්ට ද අප්‍රියෙල් 11 හින්දූන්ට ද නිවාඩු දින වශයෙන් වෙන්කර දෙන ලෙසටයි. අලුත් අවුරුද්ද පිළිබඳව ඉංග්‍රීසි රජයේ දැක්‌ම එලෙස වූ අතර 1886 අංක 04 දරන නිවාඩු දින පනත ද සම්මත වුණි. මෙයින් පසුව අප්‍රියෙල් 11 දිනය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් භාවිත කරන්නට විය.

1948 දී අප නිදහස ලබා ගත් නමුත් දේශීය ව්‍යවහාරයන් හා චාරිත්‍ර පිළිබඳව බහුතරයකට වැටහීමක්‌ නොවුණි. සිංහල ජනතාව සුපුරුදු ලෙසට අවුරුදු උත්සවය පැවැත් වූ අතර දෙමළ හින්දු ජනතාව ඉන්දියාවේ පිළිවෙළට තෛපොන්ගල් සහ දීපවාලී උත්සවයන් පැවැත්වූහ. සූර්යයාගේ ගමන අනුව දිවා රාත්‍රි වශයෙන් අවුරුද්ද බෙදාගෙන බ්‍රහ්ම සංකල්පය ක්‍රියාත්මක කිරීම හින්දු සම්ප්‍රදාය විය. දෙමළ ජනතාව බහුතරයක්‌ ජීවත් වන දකුණු ඉන්දියාවට සූර්යයා මුදුන් වන අප්‍රියෙල් මාසය අගදී ඔවුන්ට උත්සවයක්‌ නැත. පරිසරය අඳුරු ගහකොළ සරුසාර නොවුණු සීතල දෙසැම්බර් මාසයෙන් පසු සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම ආරම්භ කරන විට තෛපොන්ගල් ද පසුව දීපවාලී සැමරුම ද තුළ සූර්ය වන්දනාව තිබුණ ද හුදෙක්‌ ආගමික උත්සවයකදී කරන චාරිත්‍ර ඊට අයත්ය. ලන්දේසි යුගයේ සිට මෙරට පදිංචි කරන ලද මලබාර් ජනතාව අප්‍රියෙල් මාසයේ 11 දිනය අවුරුද්දේ සතර වැනි මාසය ලෙසින් සලකා සිත්තර පුත්තාන්ඩු යනුවෙන් වසන්ත උත්සවයක්‌ පැවැත් වූහ. වසරේ හතරවැනි මාසය ගන්නේ නම් එය අවරදිග ක්‍රමයටයි. එවිට එම උත්සවයට දිගු අතීතයක්‌ නොමැති බව පෙනේ. 1983 ජුලි කලබලවලින් පසුව රජය සිංහල හා හින්දු ව්‍යවහාරය වෙනස්‌ කොට 1984 සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් නව ව්‍යවහාරයක්‌ හඳුන්වා දෙන ලදී. ඒ සිත්තර පුත්තාන්ඩුව අවුරුද්දක්‌ ලෙසට වරදවා වටහා ගැනීමෙනි.



ලංකාවේ ප්‍රධාන ගොවි කන්නය මාස්‌ කන්නයයි. එහිදී මුළු රටේම එක පැහැර ගොවිතැන් බත් කෙරේ. නමුත් යල කන්නයේ වුවද රටේ යම්කිසි කොටසක ගොවිතැන කර ගැනීමට ගොවි ජනතාවට හැකියාව තිබුණි. එයට පදනම සකස්‌ වන්නේ ද සූර්යයාගේ ගමනයි. නිරිත දිග මෝසම් වර්ෂාව මගින් සරුසාර කර ගත හැකි කලාපයන් ආවරණය කර ගනිමින් බත බුලත පමණක්‌ නොව ධාන්‍ය පළතුරුද ලබා ගන්නට මොවුහු සමත් වූහ. ආහාර අනුභවයට ප්‍රථම රෑයෙදී තිබෙන වැඩ ඇල්ලීම මගින් සංකේතවත් වන්නේ සමස්‌ත ජාතියම එකම අවස්‌ථාවක ජාතික නිෂ්පාදනය ආරම්භ කිරීමේ සිරිතයි. කිරි ඇති ගසකට කෙටීමෙන් වැඩ ඇල්ලීම සාම්ප්‍රදායික සිරිතයි. ගනුදෙනු කිරීම නම් මුදල් හුවමාරුව නොව ළිඳ සමඟ සොබාදහමේ පංච භූතය සමඟ එක්‌වීමයි. ජලය නොමැතිව ජීවත් වීමට කිසිවකුට නොහැකිය. ජලය ලබා දෙන ළිඳ පිරිසිදු කොට ගැනීම අවුරුද්දට පළමු කළ යුතු දෙයකි. පිරිසිදු ජලය ලබා ගැනීමට උල්පත් පාදා ගැනීම එහි අරමුණයි. ගනුදෙනු කරන අවස්‌ථාවේ දී ළිඳ වෙතට ගොස්‌ කෘතඥතා පූර්වක හැඟීමෙන් නමස්‌කාර කිරීමත් ජලය නැවුම් භාජනයක බහා සුරැකිව තබා ගැනීමත් සිංහල බෞද්ධයන් අනුගමනය කළ සද් කාර්යයකි.

මුදල් ගනුදෙනු කිරීම වත්මන් සමාජයේ ප්‍රධාන කටයුත්තක්‌ වුවද මුදල් අමතක කොට භාණ්‌ඩ හුවමාරුවද කළ හැක්‌කකි. වෙසෙසින්ම ආහාර නිෂ්පාදනයට දායක විය හැකි වන පරිදි වී ගොවිතැනට අදාළ වන බිත්තර වී මල්ලක්‌ හුවමාරු කර ගැනීමට හැකිනම් එය කෙතරම් අගේ කළ යුතු කාර්යයක්‌ ද. එහිදී විවිධ වර්ගයේ වී ප්‍රභේද එයට යොදා ගත හැකිය. හිස තෙල් ගෑමේ චාරිත්‍රය ද ඉතා වැදගත්ය. ඒ මගින් ජනතාවගේ සෞඛ්‍ය පැවැත්ම උදෙසා වටිනාකමක්‌ ලබා දෙයි. සූර්යයා මුදුන් වන අවස්‌ථාවේ ඇතිවන නොයෙකුත් උෂ්ණාධික ලෙඩ රෝග වළක්‌වා ගන්නට මේ තෛල සම්බාහනය ඉතා වැදගත්ය. මෙම අලුත් අවුරුදු චාරිත්‍ර නිවැරදිව සහ අර්ථාන්විතව කිරීමට වත්මන් ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක්‌ ලෙසට දකිමි.

අලුත් අවුරුදු උත්සවය ඇරැඹෙන්නේ බක්‌ මාසයේ වෙසෙසි අවස්‌ථාවකදීය. එහෙත් එය හුදෙක්‌ වසන්ත උත්සවයක්‌ නොවේ. එබැවින් එය බක්‌ මහ උළෙල යනුවෙන් හැඳින්වීමද නිවැරදි නොවේ. සූර්යයා හෙළ රාශියට නොහොත් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අවුරුදු චාරිත්‍ර ආරම්භ වුවද අවුරුදු උත්සවය සූර්ය මංගල්‍යයක්‌ පමණක්‌ ද නොවේ. එය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ විවිධ චාරිත්‍ර මත සංවර්ධනය වූ ජාතික උත්සවයක්‌ වී අවසන්ය. ජාතික නිෂ්පාදනයන් පිළිබඳ අභිලාෂයන් ද නිවැරදි පරිභෝජනය ඇති කරවන හුරුපුරුදු මෙන්ම සෞඛ්‍ය සංරක්‌ෂණය හා බැඳි සාරධර්ම මෙහිදී පුරුෂාර්ථ ලෙසට ඉස්‌මතු වේ. සිංහල ජාතිකත්වයට අවුරුදු කාලය ඉතා වැදගත්ය. වත්මන් දෙමළ සහ අනෙකුත් ජන වර්ගයන් ද සොබාදහමේ පැවැත්මට එකතු වන්නේ නම් අලුත් අවුරුද්ද තුළින් සිංහල සංස්‌කෘතියට අනුගත විය හැකිය. එය අපගේ පැරණි සිරිතයි. නමුත් වර්තමාන සිංහල අලුත් අවුරුද්ද කෙරෙන් මේ උතුම් පරමාර්ථ බැහැරව යමින් පවතී. එයට හේතුව ජනේරුව විසින් ඇති කරන ලද රංචු ගැසීම හා විනෝද වීමේ සංස්‌කෘතිය මේ අවුරුදු සමයට ද ආදේශ වීමයි. යුරෝපීය වාණිජ පරමාර්ථ විසින් අලුත් අවුරුද්ද දූෂණය කර තිබේ. එය ජාතියක පරිහානි ලක්‌ෂණයකි. බක්‌ මහ සැණකෙළිය නමින් එය වර්තමානයට උචිත ලෙසින් නාමකරණය වී ඇත්තේ එනිසාය. ඒ යටින් දිවෙන ගෝත්‍රික පරාධීනත්වය අප වහ වහා අවබෝධ කර නොගත හොත් ජාතික නිෂ්පාදන පුරුෂාර්ථ මතු කරන මේ උතුම් අවුරුද්ද ඉතා ඉක්‌මනින් දියවී යනු නිසැකය.

 
Post a Comment